Sunday, March 13, 2016

වසර 50 ක් පුරා ආධාර දීලාත් ගොඩගන්න බැරි වී වගාව නවතා දමනු..!! - ආනුභාවනන්ද ලියයි

(ලංකා ඊ නිව්ස් -2016.මාර්.12, ප.ව‍.11.30) ඒ අනූව දශකයේ මුල් භාගයයි. උතුරු මැද ගොවියෝ ජොලියට වස බිව් කාලයයි. එවකට පැවැති එජාප රජය 1990 සිට පොහොර සහනාධාරය ප්‍රතිපත්තිමය තීන්දුවක් මත කපා දමා තිබිණ. පොහොර සහනාධාරය මත පදනම්ව දශක ගණනාවක් වී ගොවිතැනේ නිරත වූවන්ට මෙය මරු පහරක් විය. වගා ණය ගෙවා ගැනීමට නොහැකි වූ ගොවීහු කිහිප දෙනෙක් දිවි නසා ගත්හ. මෙම දිවි නසා ගැනීම සහ වී ගොවියන්ගේ අර්බුදය එජාප විරෝධී සමාජ දේශපාලන බලවේගයක ආරම්භයක් බවට පරිවර්තනය විය. උතුරු මැද ඇවිලෙන ගොවි සටන් පිලිබඳව කොළඹ මාධ්‍ය දැනුවත් කිරීමට ඉදිරිපත් වූයේ එවකට විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වූ මෛත්‍රීපාල සිරිසේන ය. ගොවි සටන් වාර්තා කිරීමට කොළඹින් පැමිණෙන මාධ්‍යවේදීන් ගොවිබිම් බලා ගෙන යමින් මෙන්ම අනෙකුත් සුබ සාධන කටයුතු කළ නන්දසේන හේරත් ශ්‍රීලනිප මන්ත්‍රීවරයාට ඔහු සහාය වූයේ ය. 
ගොවි සටන් සහ දිවි නසා ගැනීම් හරහා ඇති වූ එජාප විරෝධී දේශපාලනය ප්‍රවාහය, 1994 මහ මැතිවරණයේදී පොදු පෙරමුණු රජය බලයට පත් කිරීමට බලපෑ ප්‍රධාන සාධකයක් විය. එම බල පෙරළිය මගින් නියෝජ්‍ය අමාත්‍ය ධූරයකටත් ඉන්පසුව කැබිනට් ඇමැති ධූරයකටත් පත්වූ මෛත්‍රීපාල සිරිසේනට පසුව ශ්‍රීලනිප ලේකම් ධූරය හිමි විය. දැන් විධායක ජනාධිපති ධූරය දරණ ඔහු ශ්‍රීලනිපයේ නායකයා ය. අවාසනාවකට මෙන් එදා ගොවි සටන් කරළියට ඒමට කැප වූ නන්දසේන හේරත් දේශපාලනයෙන් වියැකී ගියේ ය. මිලියන ගණනින් සල්ලි විසි කරන මනාප සෙල්ලම ඉදිරියේ ඔහුට පැවැත්මක් නොවීය.
විපක්ෂයේ සිටින විට මාධ්‍ය සමග ඉතා සුහදව කටයුතු කරන දේශපාලනඥයෝ බලයට පත් වූ පසු තම පැරණි සම්බන්ධතා ඉක්මණින්ම අමතක කර දැමීමට කටයුතු කරති. මෛත්‍රීපාල සිරිසේන ගේ ගෞරවය පිණිස සඳහන් කළ යුත්තේ ඔහු එවැනි ආකාරයේ දේශපාලනඥයෙකු නොවූ බවයි. තම අමාත්‍යාංශයේ සංවර්ධන වැඩ පිලිවෙලක් හෝ වෙනයම් විෂයක් පිලිබඳ වාර්තා කිරීමට මාධ්‍යවේදීන් පොළොන්නරුවට පැමිණි අවස්ථාවන්හිදී ඔවුන්ගේ සැප දුක සොයා බැලීමට ඔහු උනන්දු වූයේ ය. කැබිනට් ඇමැති වරයෙකු වශයෙන් කිසිදු ආරක්ෂකයෙකු නොමැතිව තනිව ජීප් රථය පදවාගෙන රාත්‍රියේ මාධ්‍යවේදීන් නවාතැන් ගන්නා රජයේ නිල නිවාසයන් වෙත ඔහු පැමිණි අවස්ථා එමට ය. එසේ පැමිණෙන විට මධුවිත බෝතලයක් දෙකක් ගෙන ඒමට ද ඔහු අමතක නොකෙළේය. එල්ටීටීඊ ක්‍රියාකාරකම් දැඩිව පැවැති එම වකවානුවේ මධ්‍යම රාත්‍රියේ තනිව සංචරණය මාරාන්තික වුවද ඔහු පැමිණියේය. 
පොහොර සහනාධාර, සහතික මිල, ගොවි ණය විෂම චක්‍රය
සුබ සාධක ආර්ථික ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් බර දැරීමට සිදුවන්නේ රටේ සාමාන්‍ය ජනතාවට ය. මන්ද යත් එම සියළු සුබ සාධන ලබා දෙන්නේ රජයේ බදු මුදල් ආදායමෙන් වන බැවිනි. 
නිදහසින් පසු බලයට පත් වූ සෑම රජයක්ම අඩු වැඩි වශයෙන් වී ගොවියන්ගේ ප්‍රශ්න විසඳීමට උත්සාහ කෙළේය. එහෙත් දශක හයකට අධික කාලයක් පුරා පොහොර සහනාධාර, සහතික මිල, ගොවි ණය විෂම චක්‍රය බිඳ දැමීමට හැකි වී නැත. ගොවි පුත්‍රයා ජනාධිපති ධූරය දරණ මේ දිනවල රඟ දක්වන්නේ පොහොර සහනාධාර උද්ඝෝෂන පැරණි නාටකයමය. 
වී ගොවීන් ඉලක්ක කර ගනිමින් පොහොර සහනාධාර ලබා දීම ආරම්භ කෙළේ 1960-65 ඩඩ්ලි සේනානායක දියත් කළ වගා සංග්‍රාමයට සමගාමීව 1962 දී වී ගොවීන් ඇතුළු අනෙකුත් ගොවීන්ට සහන මිලට පොහොර ලබා දීමෙනි. ගොවිතැන සඳහා ගොවීන් උනන්දු කිරීම වැඩි අස්වැන්නක් ලබා ගැනීම සහ සමස්ථයක් වශයෙන් ගොවීන්ගේ ආර්ථික ශක්තිය වර්ධනය කිරීම පොහොර සහනාධාරය ලබාදීමේ මූලික අරමුණ විය.
වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ වසර 2005 දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හඳුන්වා දුන් රුපියල් 350 ට කිලෝ 50 හේ රසායනික පොහොර ලබා දීමේ වැඩ පිලිවෙලයි. ලෝක වෙළඳ පොළේ රුපියල් 3500- 4000 ක් අතර වූ කිලෝ 50 රසායනික පොහොර මල්ලක් රුපියල් 350 කට රජය දුන්නේ විශාල පාඩුවක් රජය දරමිනි. වසර 2009 දී පොහොර සහනාධාරයට පමණක් රජය වැය කළ මුදල රුපියල් මිලියන 26,935 කි. මහ බැංකු වාර්තාවන්ට අනුව එය සමස්ථ රජයේ වියදමින් සියයට 2.24 කි. වී වගා කරනු ලබන භූමි අක්කරයක් සඳහා පොහොර සහනාධාරය වෙනුවෙන් පමණක් රජය රුපියල් 26,065 ක් වැය කරයි. 
මෙම අධික සහනාධාර වැඩ පිලිවෙල යටතේ සිදුකරනු ලබන වගාවේ අස්වැන්න වෙළෙඳ පොල මිලට වඩා වැඩි මිලකට රජය විසින් මිලදී ගත යුතුව ඇත. එය ප්‍රමාද වුවහොත් මාරාන්තික උද්ඝෝෂන ආරම්භ කරනු ඇත. අවසානයේ මතුවන්නේ ගොවිණය ප්‍රශ්නයයි. රජයේ සහනාධාර යටතේ ක්‍රියාත්මක වුවුද වී වගාවෙන් සැලකිය යුතු ලාභයක් ලබා ගැනීමට නොහැක. එබැවින් ගොවීහු දිගින් දිගටම ණය වෙති. එම ණය මුදල්ද කපා හැරීමට විටින් විට රජයට සිදුවේ. රාජ්‍ය බැංකු මෙම ගොවි ණය කපා හැරීම ඔවුන්ගේ මූල්‍ය සංචිතයන්ට බලපෑමක් කරනු ලබන අතර එය බැංකු ලාභයන් අවම කිරීමට හේතුවකි. බැංකු ලාභ සමග ගැට ගැසී තිබෙන අනෙක් සාධකය වන්නේ බැංකු පොලී අනුපාතයයි. 
රජය සිය සමස්ථ ආදායමින් සියයට 2 කට අධික ප්‍රමාණයක් වසරකට පොහොර සහනාධාරය සඳහා පමණක් යෙදවීම, වැඩි මිලට අස්වැන්න මිලදී ගැනීම, ණය කපා හැරීම් යන ත්‍රිවිධ සුබ සාධන ක්‍රියා දාමයක් සළකා බලන විට මෙරට වී වගාව සිදුකරනු ලබන්නේ ආර්ථික විද්‍යාවේ මූලික න්‍යායක් වන වෙළෙඳපොල මිල න්‍යාය මත නොවන බව පැහැදිලිය.
රටේ ජනතාව පවුල් මිලියන 1.8 ක් කරේ තබාගෙන දුවති
වී වගාව සම්පූර්ණයෙන්ම පාඩු ලබන ව්‍යාපාරයකි. එය සුබ සාධන ආර්ථිකයක් මත පදනම් වන්නකි. මෙරට සමස්ථ වගා භූමි ප්‍රමාණයෙන් සියයට 34 ක වී වගා කරනු ලබන අතර එය මූලිකව අනුරාධපුර, පොලොන්නරුව, අම්පාර සහ කුරුණෑගල දිස්ත්‍රික්ක ඉලක්ක කර ගනිමින් පැතිර පවතියි. යල මහ දෙකන්නයේදී වගා කරන මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර් 8,70,000 කි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනයන්ට අනුව ගොවි පවුල් මිලියන 1.8 ක් වී වගාවට සම්බන්ධව සිටිති. එනම් මිලියන 1.8 ක් වන ගොවිපවුල් ප්‍රමාණයක් රටේ සමස්ථ ජනතාව සිය දෙවුර මත රඳවා ගෙන සිටිති. මෙම ගොවීන්ගේ සමස්ථ ජීවන වෘත්තියම රඳා පවතින්නේ වී වගාව සඳහා රජය සහ සමස්ථ ජනගහනය ලබා දෙන ආර්ථික දායකත්වය මතය. රජයේ වාර්ෂික ආදායමින් සියයට 2 කට වැඩ ප්‍රමාණයක් පොහොර සහනාධාරය සඳහා පමණක් වැය කරයි. සහතික මිලට වී මිලදී ගැනීමට වාර්ෂිකව තවත් විශාල මුදලක් වැය කරයි.
හැටේ දශකයේ ආරම්භයේදී පොහොර සහනාධාරය ලබා දීම ආරම්භ කෙළේ වැඩි අස්වැන්නක් ලබා ගැනීම, ගොවිතැන සඳහා ආකර්ශනයක් ඇති කිරීම සහ සමස්ථයක් වශයෙන් ගොවි ආර්ථිකය වර්ධනය කිරීම සඳහා ය. එහෙත් දශක පහකට අධික කාලයක් පුරා ක්‍රියාත්මක වූ මෙම සහනාධාරය හරහා බලාපොරොත්තු වූ ඉලක්ක සම්පූර්ණ කර ගැනීමට රටට ජාතියට හැකි වී තිබේද? පිළිතුර නැත යන්නය.
බලාපොරොත්තු වූ ඉලක්ක සපුරා ගත්තේ නම් සහනාධාර ලබා දීම ආරම්භ කර දශක 5 කට පසුවද තව දුරටත් පොහොර සහනාධාර, සහතික මිලට අස්වැන්න මිලදී ගැනීම හෝ ගොවිණය කපා දැමීම අඛන්ඩව ඉදිරියට ගෙන යෑමට සිදු නොවේ.
අද බොහෝ ගොවීන් ණය චක්‍රයක සිරකරුවන් වී සිටිති. ඔවුන්ට ඉදිරි කන්නට සඳහා අයෝජනය කිරීමට ප්‍රාග්ධනයක් නැත. රජයේ සහනාධාර සහ බැංකු ණය හෝ පොලී මුදලාලිලා මත යැපීමට සිදුවේ. වගා කාලය පුරාම වගාවට සහ එදිනෙදා ජීවත් වීමට කඩේ මුදලාලිගේ පොතට බඩු ගන්නා ඔව්හු අස්වැන්න කැපූ පසු අස්වැන්නේ විශාල කොටසක් ණය පියවා ගැනීමට මුදලාලිට ලබා දෙති. ඉතිරි කොටස විකුණා ලබා ගන්නා මුදල් ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ, යතුරු පැදි වැනි දෑ මිලදී ගැනීමට වැය කරති. සති තුන හතරක් ගත වන විට මිල දී ගත් භාණ්ඩ එකින් එක උගස් කරමින් එදිනෙදා වියදම් පියවා ගැනීමට උත්සාහ කරති. අවසානයේ නැවත කඩේ මුදලාලිගේ පිහිට පැතීමට සිදුවෙති. බොහෝ වී ගොවීන්ගේ ජීවිත මේ විෂම චක්‍රයට සිර වී අවසාන ය. 
ඩීල් ජවිපෙ
නව ආණ්ඩුව බලයට එද්දී පොහොර සහනාධාරය දෙන බවට පොරොන්දු විය. සහතික මිලට වී මිලදී ගන්නා බවට පොරොන්දු විය. ගොවිණය කපා හැරීමට ද පොරොන්දු විය. එමගින් රජයේ ආධාර යටතේ වී වගාව පවත්වාගෙන යෑමේ ක්‍රමවේදය නැවත වටයකින් ස්ථාපිත විය. මහින්ද රාජපක්ෂ වසර 2005 දී හඳුන්වා දුන් රුපියල් 350 පොහොර සහනාධාරය අඛන්ඩව පවත්වාගෙන යෑම ඉතා දුෂ්කර කටයුත්තකි. එය රටේ ආර්ථිකය මත පටවා තිබෙන විශාල බරකි. වර්තමාන රජය එම සහනාධාරය කිසිදු කප්පාදුවකට ලක් නොකර පොහොර මිල දී ගැනීමේ ක්‍රමවේදය සහ අවස්ථාවන් වෙනස් කරන විට පවා ජවිපෙ ගොවි ජනතාව ඉත්තන් කර ගනිමින් රට පුරා උද්ගෝෂණ මෙහෙයවති. නව වැඩ පිලිවෙල අනුව රජය එක් ගොවියෙකුට රුපියල් 25000 ක පොහොර සහනාධාරයක් ලබා දෙන අතර ඔහුට එම මුදලින් තමන්ට අවශ්‍ය පොහොර වර්ගය ලබා ගත හැකිය. පසුගිය කාලය පුරා ගොවීන් චෝදනා කෙළේ රජය ගෙන්වා බෙදා හරින පොහොර නිසි ප්‍රමිතියකින් තොර බවයි. පොහොර ලබා ගැනීමට ශ්‍රම කාලය විනාශ කර ගත යුතු බවයි. 
නව වැඩ පිලිවෙල හරහා එම ප්‍රශ්න දෙකටම විසඳුම් ලැබී තිබේ. ගොවියාට අද තමන්ට අවශ්‍යය තැනකින් තමන් කැමැති පොහොර වර්ගයක් මිලදී ගත හැකි ය. මෙම ක්‍රමයේ වැදගත්ම ලක්ෂණය වන්නේ ගොවීන්ට තවදුරටත් මහින්ද රාජපක්ෂ රජය බෙදා දුන් රසායනික පොහොර මතම රැඳී සිටීමට අවශ්‍ය නොවීමයි. ඔවුනට කාබනික පොහොරද මෙම මුදලින් මිලදී ගත හැකිය. රසායනික පොහොර මහා පරිමාණයෙන් පසට එකතු කිරීමේ ප්‍රතිඵල අපි උතුරු මැද පළාතේ අත් දකිමින් සිටින්නෙමු. වකු ගඩු රෝග වසංගතයට මෙය ප්‍රධාන සාධකයක් වන අතර ලෝක සංවිධානද ඒ පිලිබඳව ලංකාවට අනතුරු අඟවා තිබේ. නව ක්‍රමවේදය පිලිබඳ සාධනීය විවේචනයක් ඉදිරිපති කිරීමට අසමත් ජවිපෙ. ගොවි ජනතාවගේ අනෙකුත් ප්‍රශ්නද මෙම ක්‍රම වේද වෙනස සමග ඒකාබද්ධ කර විෂම ණය චක්‍රයට හසුවී සිටින උසි ගන්වමින් සිටිති. මෙයින් පැහැදිලි වන්නේ ජවිපෙ වනාහී කෙතරම් පසුගාමී ආත්මාර්ථකාමී සංවිධානයක් ද යන්නයි. රසායනික පොහොර නිසා ගොවියන් පරම්පරා පිටින් වකුගඩු රෝගයෙන් මියෑදුනද ඔවුන්ට එය ප්‍රශ්නයක් නොවේ. 
රසායනික පොහොර ආනයනය මෙන්ම බෙදා හැරීම අධික ලාභ ලබන ව්‍යාපාරයක් වන අතර එයට බහුජාතික සමාගම් කිහිපයක්ම සම්බන්ධ වී සිටී. ජවිපෙ ගොවි උද්ඝෝෂනය පිටුපස මෙම බලවේග ක්‍රියාත්මක වන බවට ඇති සැකය අසාධාරණ නොවේ. මන්ද යත් ජවිපෙ වනාහී උද්ඝෝෂණ වැඩ වර්ජන තම කප්පම් දේශපාලනයට බද්ධ කර ඇති නිසාය. පුද්ගලික අංශයේ සමාගම් තුල වෘත්තීය සමිති ගොඩ නගන ජවිපෙ ඒවා මගින් වැඩ වර්ජන නොකර සිටීම උදෙසා සමාගම් වලින් මාසිකව කප්පම් ලබා ගනිමින් සිටින බව මේ වන විට ප්‍රසිද්ධ රහසකි. ජවිපෙ වෘත්තීය සමිති නායක ලාල්කාන්තගේ දෙවැනියාව සිටි හිටපු ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ ඒ බව වරක් මාධ්‍යයට හෙලි කර තිබිණ. ඒ එසේ නම් ජනතා විමුක්ති පෙරමුණේ ගොවි උද්ඝෝෂන පමණක් නොව ඉන්දියානු විරෝධය පිටුපසද කප්පම් තිබිය හැකිය. 

පර්යේෂන පත්‍රිකාව
දේශපාලන අතකොළු බවට නැති යම් බුද්ධියක් සහිත වී ගොවීහු පොහොර සහනාධාරය රටට තව දුරටත් දැරිය නොහැකි බව අවබෝධකරගෙන සිටිති. ලෝක වෙළෙඳ පොලේ දහගුණයකින් පමණ මිල අධික පෝර උරයක් රුපියල් 350 කට ලබා දිය නොහැකි බව ඔව්හු දනිති. 
වසර 2008 දී ශ්‍රී ලංකා කෘෂි  ආර්ථික ආයතනයේ දෙවන පර්යේෂන සමුණුවට ඉදිරිපත් කළ පර්යේෂන පත්‍රිකාවක් මගින් එය තහවුරු වෙයි. ඩබ්.එම්.එල්.කේ. විජේතුංග, එස් තිරුචෙල්වම් සහ එන් බලමුරලි යන කෘෂි විද්‍යාඥයන් තිදෙනා මෙම පර්යේෂණ පත්‍රිකාව මහින්ද රාජපක්ෂ රජයේ “කෙතක අරුණ“ පොහොර සහනාධාරය සහ වී නිෂ්පාදනය පදනම් කර ගනිමින් ඉදිරිපත් කර තිබිණ. 
ඔව්හු මිණිපේ ගොවි ජනපදය සිය පර්යේෂණ නියැදිය වශයෙන් සැලකූහ. මෙම පර්යේෂන පත්‍රිකාවේ සඳහන් වන්නේ රුපියල් 350 ට පොහොර අඛන්ඩව ලබා දීම ප්‍රායෝගික නොවන බව ගොවි ජනතාව අවබෝධ කරගෙන තිබූ බවයි. ලෝක වෙළෙඳ පොලේ පොහොර මිල අධික බවත් එම පොහොර මෙවැනි අඩු මිලකට ලබා දීම ප්‍රායෝගික නොවන බවත් ඔවුන්ගේ අදහස විය. ඔවුන් රුපියල් 1000-1250 ක් අතර මිලකට පොහොර මල්ලක් මිලදී ගැනීමට කැමැත්ත පළ කළ බව එම පර්යේෂකයෝ පෙන්වා දෙති. රාජපක්ෂ රජයේ පොහොර සහනාධාරය ලබා ගැනීමේ දී දැරීමට සිදුවන ප්‍රවාහන වියදම සහ පොහොර පෝලිම් වල දින දෙක තුනක් පමණ ශ්‍රම කාලය කා දැමීම හේතු වශයෙන් දැක්වූ ගොවීහු විව‍ෘත වෙළෙඳ පොලේ පොහොර මිලදී ගැනීමට කැමැත්ත ප්‍රකාශ කළහ. එම ගොවියෝ සාධාරණ මිලකට විවෘත වෙළෙඳ පොලින් පොහොර මිලදී ගැනීම හරහා රුපියල් 350 පොහොර මිලදී ගැනීමේදී නිර්මාණය වී තිබූ ආර්ථික පාඩු අවම කර ගත හැකි බව විශ්වාස කරති. 
එහෙත් යහපාලන රජය ඉදිරිපත් කළ නව වැඩ පිලිවෙල සඳහා ගොවීන්ට එදා ලබා දුන් මූල්‍ය සහනාධාරය කපා දමා නොමැත. ඒ වෙනුවට ගොවීන්ට වැඩි අවස්ථාවන් සහ ස්වාධීනත්වයකින් තීන්දු තීරණ ගැනීමේ අවස්ථාවක් ලබා දී ඇත. එහි යම් යම් අඩුපාඩු තිබිය හැකිය. එහෙත් මෙකී ගොවි උද්ඝෝෂකයෝ කළ යුත්තේ සමස්ථ වැඩ පිලිවෙලම කඩා කප්පල් කිරීම නොව ඒ පිලිබඳ සාධනීය විවේචනයක් සහ වඩා ප්‍රායෝගික වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීමය. එහෙත් අවසානාවකට පටු දේශපාලන වාසි වෙනුවෙන් එම ප්‍රගමනය කඩා කප්පල් කර ඇත;
වී වගාව දිගින් දිගටම පාඩු ලබන තත්ත්වයේ පවතී. රජයේ ආර්ථික සහනාධාර යටතේ වී ගොවි පවුල් මිලියන 1.8 ක් කර මත තබා ගෙන යෑමට රටේ සමස්ථ ජනගහනයටම සිදුව තිබේ.
අපේ වී අස්වැන්නෙන් 98% ක්ම දේශීය පරිභෝජනය සඳහා යොදා ගනී. දේශීය වෙළෙඳ පොලේ සහල් කිලෝවකට පාරිභෝගිකයන් ගෙවනු ලබන අධික මිල සහ ලෝක වෙළේඳ පොලේ සහල් මිල සංසන්දනය කරන විට වී වගාව අත්හැර දමා දේශීය පාරිභොජනයට සහල් ආනයනය කිරීම ලාභ දායකය. එය රටේ බහුතරයක් වූ පාරිභෝගිකයන්ටත් ගොවියන්ටත් ආර්ථික වාසියක් ඇතිකර ගත හැකි සරල ආර්ථික ක්‍රමවේදයයි. වී ගොවිතැන අපේ සංස්කෘතිය, ජීවන පැවැත්ම මත දැඩි සම්බන්ධයක්  ඇති බැවින් වී වගාව අත් හැර වානිජ භෝගයන්ට යොමු වීම ප්‍රායෝගික ගැටළු මතුවෙයි. එබැවින් මෙම රජයේ ආර්ථික සහනාධාර මත යැපෙන වී ගොවිතැන ඉන් මුදවා ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි.
වී වගාව ඵලදායී, ලාභදායී, තත්ත්වයට පත් කර ගැනීම නම් ඉහළ යන නිෂ්පාදන වියදම අඩුකර ගැනීම, වී පලදාව වැඩි කර ගැනීම සහ අතිරික්ත වී අස්වැන්න ගබඩා කිරීම සහ අලෙවි කිරීම යන ප්‍රධාන සාධකයන්ට අවධානය යොමු කිරීම වැදගත්ය. 
Economics of Scale - ප්‍රමාණාත්මක ආර්ථික වාසි

වී ගොවිතැනේ නිරත මිලියන 1.8 ක් වූ පවුල් ප්‍රමාණයෙන් 67% කට හිමිව ඇත්තේ හෙක්ටයාර් 0.8 කට අඩු වගා බිමකි. මෙවැනි කුඩා කුඹුරු වගා කිරීම මගින් economics of scale හෙවත් ප්‍රමාණාත්මක ආර්ථික වාසි ලබා ගැනීමට නොහැක. කුඩා කුඹුරු අස්වැදීම සඳහා සාපේක්ෂව විශාල වියදමක් දැරීමට සිදුවෙයි. ගොවීන් ඒකරාශී කර ගන්නා ගොවි සමාගම් හෝ ගොවි සමිති මගින් විශාල කුඹුරු ප්‍රමාණයක් අස්වැද්දීමෙන් නිෂ්පාදන වියදම අවම කර ගැනීමට හැකිවනු ඇත. වී කිලෝවක් නිෂ්පාදනයට වැය වන පිරිවැයෙන් 55% ක් වැය වන්නේ ශ්‍රම වියදම් සඳහා ය. ශ්‍රම වියදම පසුගිය දශකයක කාලය පුරා සීග්‍රයෙන් ඉහළ යමින් පවතී. ශ්‍රම වියදම් පාලනය කර ගැනීමට පවුලේ සාමාජිකයන්ගේ ශ්‍රමය වැඩි වශයෙන් භාවිතා කළ යුතු බව කෘෂි විශේෂඥයෝ පවසති. 
වී අස්වැන්න හෙවත් ඵලදාව ඉහල දැමීම සඳහා නව බිත්තර වී වර්ග හඳුන්වා දීම මෙන්ම පස සුරක්ෂිත කිරීම සහ පෝෂනය කිරීම ගැන ගොවි ජනතාව අවධානය යොමු කළ යුතුය. අධික රසායනික පොහොර භාවිතය හේතුවෙන් පසේ සාරය විනාශ වී ඇති අතර කාබනික පොහොර භාවිතයට වැඩි අවධානයක් යොමු කිරීම මගින් පසු සුරක්ෂිත කර ගන්නවා මෙන්ම නිෂ්පාදන පිරිවැයද අවම කර ගත හැකිය. වසර පුරාම වී ගොවිතැන මත පමණක් යැපීමෙන් වැළැකී වී වගාව සමග වානිජ භෝග මෙන්ම සත්ව නිෂ්පාදන බද්ධ කළ යුතු බවට කෘෂි ආර්ථික විශේෂඥයෝ වසර ගණනාවක සිට අවධාරණය කරති. එහෙත් ඒ වෙනුවෙන් ගොවීන් හෝ ගොවීන් වෙනුවෙන් උද්ඝෝෂනය කරන දේශපාලන පක්ෂ කිසිදු අවධානයක් යොමුකර නැත. 
මේ අනුව සමස්ථ ජනතාවක් මත බර පැටවෙන සහ රජයේ සහනාධාර මත යැපෙන වී ගොවිතැන තවදුරටත් මේ ආකාරයෙන් පවත්වා ගෙන යා නොහැකිය. වී නිෂ්පාදනය මෙන්ම වෙළඳාම වෙළෙඳ පොළ මිල න්‍යායන් මත පදනම් වන යාන්ත්‍රණයකට ගොනු කළ යුතුය. ලෝක වෙළෙඳපොල මිලට වඩා දස ගුණයක් අඩු මිලට පොහොර බෙදා දී වෙළඳ පොල මිලට වඩා වැඩි සහතික මිලකට වී මිලදී ගෙන වී වගාව ඉදිරියට ගෙන යා නොහැක. මේ ක්‍රියාමාර්ග මගින් ගොවියා මෙන්ම සමස්ථ පාරිභෝගික ප්‍රජාවම අසරණ තත්ත්වයකට ඇද දමා ඇත.
මේ ක්‍රමවේදයට වී වගාව පවත්වාගෙන යනවාට වඩා වී වගාව නවතා දැමීම ආර්ථික වශයෙන් ලාභ දායක බව ඉතාමත් පැහැදිලිය. වී ගොවියන් වෙනත් ලාබදායී ගොවිතැනකට මාරුවිය යුතුය. ඉන් ලැබෙන ලාභයෙන් සහල් පිටරටින් මිලදී ගත්තද පාඩුවක් නැත.  
යහපාලන රජය දැනට සිදුකර ඇත්තේ පොහොර සහනාධාරය ලබා දෙන ක්‍රමවේදය වෙනස් කිරීම පමණි. එහෙත් අද දවසේ අවශ්‍යතාවය ක්‍රමවේදය වෙනස් කිරීමට වඩා ඉදිරියට ගිය රැඩිකල් පියවරක් ගැනීමය. ඒ සඳහා අවශ්‍ය වන්නේ පැහැදිලි වැඩ පිලිවෙලක් සහ දේශපාලන ධෛර්යය පමණි.
-ආනුභාවනන්ද විසිනි-

No comments:

Post a Comment