Thursday, March 24, 2016

පාරිභෝගිකයාට අපහාස කළ ලංවිම

මෑත ඉතිහාසයේ විශාලතම විදුලිය බල බිඳ වැටීමට රට පසුගිය සතියේ මුහුණ දුන්නේ ය. දැනට තිබෙන තොරතුරුවලට අනුව, මහවැලි කලාපයේ සිට ජනනය කැරෙන විදුලිය බලය රටේ අනෙක් ප‍්‍රදේ්ශවලට බෙදා හරින බියගම ලැබුම්පොළේ විශාල ට‍්‍රාන්ස්පෝමරයක වූ පිපිරීමක් ඊට හේතුව යි. ඒ බිඳ වැටීමෙන් සිදු වූ විදුලි සැපයුමේ අඩුවීම, ජනනය කෙරෙන ප‍්‍රමාණයෙන් වහා අඩු නොකළහොත් පද්ධතියට ඔරොත්තු නොදෙන විදුලිය බලයක් නිපදවී ඒ හරහා පාරිභෝගිකයන්ගේ විදුලි උපකරණ පිළිස්සෙන තරමට විනාශයක් ඇතිවිය හැකි ය. 

එය වළක්වා ගැනීමට, එවැනි විටෙක ස්වයංක‍්‍රිය ලෙස විදුලි ජනන යන්ත‍්‍ර ක‍්‍රියා විරහිත වන ක‍්‍රමයක් පවත්වා ගෙන යනු ලැබේ. ජලය හා ඞීසල් මගින් ක‍්‍රියා කෙරෙන විදුලි ජනන යන්ත‍්‍ර මෙලෙස ක‍්‍රියා විරහිත වූ වහා ම නැවතත් ක‍්‍රියාත්මක කළ හැකි නමුත් ගල්අඟුරුවලින් ක‍්‍රියාත්මක වන විදුලි ජනන යන්ත‍්‍ර වහා ම නැවත පණ ගැන්විය හැකි නොවේ. මෙගාවොට් නවසියයක ධාරිතාවෙන් යුත් නොරොච්චෝලේ විදුලිය නිපදවීම එලෙස නැවතුණු අතර නැවතත් එය ක‍්‍රියාත්මක කිරීමට ජනන යන්ත‍්‍ර සිසිල් වන තුරු බලා සිටිය යුතු ය. චීන තාක්‍ෂණයට පින් සිදු වන්නට නොරොච්චෝලේ බලාගාරයේ සිසිලන පද්ධතියක් තිබෙන නමුත් එය ක‍්‍රියාත්මක වන්නේ ද නොරොච්චෝලෙන් ම නිපදවෙන විදුලිය මගිනි. සිසිලන පද්ධතිය සඳහාවත් ඞීසල් ජනන යන්ත‍්‍රයක් නැත. මේ නිසා බලාගාරය සිසිල් වන්නේ කවදා ද, ඒ වන තෙක් රටේ විදුලිය බල සැපයුමෙන් මෙගාවොට් නවසියයක ප‍්‍රමාණයක් අඩු වෙයි. මේ අඩුව තුලනය කර ගත යුත්තේ රටේ විදුලි පරිභෝජනය අඩු කිරීමෙනි. පසුගිය සතියේ වරින් වර විදුලිය කැපීමක් සිදු වූයේ එහෙයිනි.
විදුලිය බිඳ වැටීම සිදු වූයේ 13වැනිදා අපර භාගයේ දී ය. එහෙත් ඊට දින දෙකක් පසු වන තුරුත් විදුලි පාරිභෝගිකයන් වූ රටේ ජනතාව විදුලිය බිඳ වැටීම සිදු වූයේ ඇයිදැ’යි හරියට දැන සිටියේ නැත. ඒ පිළිබඳ නිවැරදි තොරතුරු රටට කියන්නට ආණ්ඩුවත්, ලංවිමත් අසමත් විය. ඒ නිසා අඳුරේ අතපත ගාමින් තොරතුරු සෙවීමත් කටකතා යහමින් පතුරුවා හැරීමත් සිදු විය. ආණ්ඩුවේ අසමත්කම ගැන කියමින් තමන්ගේ හැකියාව ගැන බොරු පුරාජේරු කියන්නට විපක්‍ෂයට හැකි වූ අතර කඩාකප්පල්කාරි කි‍්‍රයාවක් සිදුවිණිදැ’යි ජනතාව සිතූහ.
විදුලිය සැපයුම අවශ්‍ය පමණට කළ නොහැකි නිසා වරින් වර රටේ විවිධ ප‍්‍රදේශවල සැපයුම අත්හිටුවන්නට ලංවිම ක‍්‍රියා කළේ ය. එය කාටත් පිළිගත හැක්කකි. එහෙත් තමන්ගේ ප‍්‍රදේශයට කොපමණ කාලයක් විදුලිය අත්හිටුවන්නේ ද, ඒ කුමන වේලාවට දැ’යි එකුදු පාරිභෝගිකයකු දැන සිටියේ නැත. ඒ ගැන දැන ගන්නට 4418418 වූ ලංවිම හදිසි ඇමතුම් දුරකථන අංකයට කතා කළ විට 15 වැනි දා වන විටත් එය අක‍්‍රිය ව පැවතිණි.
ඒ අතර බලධාරීන්ගෙන් දැන ගන්නට ලැබුණේ ලංවිමට අවශ්‍ය ආකාරයට අවශ්‍ය ප‍්‍රදේශවල විදුලිය සැපයුම අත්හිටුවන බව ය. මෙය අසීමාන්තික හිතුවක්කාරකමකි. විදුලිය බලය ලබා ගන්නා පාරිභෝගිකයාට කළ බලවත් අපහාසයකි. තමා මුදල් ගෙවා ලබා ගන්නා විදුලිය බලය අත්හිටුවන කාලය හා ප‍්‍රදේශය දැන ගැනීමට විදුලිය පාරිභෝගිකයාට ඇති අයිතිය අනුල්ලංඝනීය එකකි. රටේ විදුලිය සැපයීමේ ඒකාධිකාරයක් තමන්ට තිබෙන බැවින් හිතු හිතූ ලෙස පාරිභෝගිකයන්ගේ ඒ අයිතිය උල්ලංඝනය කරන්නට ලංවිම බලධාරීන්ට නොහැකි බව මතක තබා ගත යුතු ය.
15 වැනි දා සවස් වන විට විදුලිය අත්හිටුවන කාල හා ප‍්‍රදේශ පිළිබඳ සැලැස්මක් ප‍්‍රසිද්ධ කරන ලදි. එහෙත් එයින් ද තමන්ගේ ප‍්‍රදේශයට විදුලිය අත්හිටුවන කාලය ගැන අදහසක් පාරිභෝගිකයාට ලබා ගත හැකි විණිදැ’යි සැක සහිත ය. ඒ ලැයිස්තුව ඒ තරම් ම තාක්‍ෂණික ය. අනෙක් අතට විදුලිය සැපයුම අත්හිටුවූයේ එහි සඳහන් වේලාවලට අනුකූල ව ද නොවේ. නැවතත් හිතුවක්කාර ව ය.
එක පැත්තකින් විදුලිය බිඳවැටුණේ කෙසේ ද, එය යථා තත්ත්වයට පත් කිරීමට ගැනෙන උත්සාහය කෙබඳු ද යන්න පාරිභෝගිකයන්ට පැහැදිලි කරන්නට ලංවිම අසමත් විය. මේ නිසා භෞතික අඳුරකට මෙන් ම තොරතුරු අඳුරකට ද ලංවිම විසින් පාරිභෝගිකයා ඇද දමන ලදි. දෙවනුව විදුලිය සැපයුම අත්හිටුවන සැලැස්ම පැහැදිලි නොකිරීමෙන් පාරිභෝගිකයන්ගේ අයිතිය උල්ලංඝනය කරන ලදි.
නැවතත් මෙවැනි බිඳ වැටීමක් ඇති නොවන්නට පියවර ගන්නා බව ආණ්ඩුව කියයි. ඒ අතර, නැවතත් මෙවැනි පහත් සැලකීමකට විදුලිය පාරිභෝගිකයා භාජනය නොකරන්නට ද ලංවිම පියවර ගත යුතු වෙයි.

No comments:

Post a Comment