Sunday, March 6, 2016

මහ උළුගෙදර සැඟවුණු ආසියාවේ ලොකුම ලොන්ඩරිය

සමන්මලී නැලිගම - ඡායාරූප දිමුතු කරුණාරත්න

ලොන්ඩරියේ සිරකරුවෝ 100 ක්‌ වැඩ
වැඩට ගන්නේ වසර දෙකකට වැඩි සිර දඬුවම් ලබන අය විතරයි
රාජ්‍ය ආයතන කිහිපයකම රෙදි හෝදන්නේ වැලිකඩ හිරගෙදර
ලොන්ඩරියේ සියලුම වැඩ යන්ත්‍ර සූත්‍රවලින්


''හොඳ මිනිසුන් කියන්නේ වැරදි නොකරන අය නොව වැරදි හදා ගත්තවුන්ය..'' (විලියම් ශේක්‌ෂ්පියර්)

ජීවිතේ කියන්නේ මහා සාගරයක්‌ වගේ. තවත් වෙලාවකට ජීවිතය ලස්‌සන මහා සාගරය ඇතුළේ තියෙන සැ`ගවෙච්ච භයානක සුළියක්‌ වගේ. අපේ ජීවිතෙත් සැ`ගවෙච්ච කුණාටු තියෙන්න පුළුවන්. සරලව කිව්වොත්, අපි හැරිලා බලද්දී කඳුළුවලින් බොඳව ගිය මතක අපේ ජීවිත තුළත් තියෙනවා. ඒ ජීවිත අත්දැකීම්වලින් උපදින ආවේග මහා ව්‍යසනයන් බවට පත්කරගත්තු මිනිස්‌සු ඉන්නවා. ඔවුන් ජීවිත අලුතින් පටන් ගන්න කල් බලමින් ඉන්නවා. හොඳ මිනිසුන් කියන්නේ වැරදි නොකරන අය නොවෙයි.. වැරදි හදා ගත්ත අයයි.


අපේ සමාජයේ ජීවිත වැරදි නිවැරදි කරන සරසවිය තමයි, බන්ධනාගාරය. බන්ධනාගාරයකින් නිවැරදි නොවන මිනිස්‌සු යම් ප්‍රමාණයකුත් ඉන්නවා. තවත් පිරිසක්‌ වැරදි හදාගෙන සමාජගත වෙන්න අපේක්‌ෂාවෙන් ඉන්නවා. එවැනි මිනිසුන් පිරිසක්‌ සොයාගෙන අපි වැලිකඩ බන්ධනාගාරයට ගියා.

බන්ධනාගාර දොරටුවෙන් ඇතුළු වෙද්දීම අපිට හැ`ගුණේ අපි හිරගෙට ගියා වගේ. එහෙත් මොහොතකින් අප අභිමුව පෙනෙන්නෙ අඩියක්‌ පාසාම අලංකාර මලින් සැදුණු උයනක්‌. දුටු දුටු හැම අත සුදුවතින් සැරසුණු මිනිසුන් පිරිසක්‌. තවත් පසෙක වේගයෙන් වැඩ කරන අනලස්‌a මිනිසුන්ගෙන් පිරුණු වැඩ බිම් රාශියක්‌... සුදු වතින් සැරසුණු පිරිස්‌ විවිධ ආගම් අදහන එකම ස්‌ථානයද බන්ධනාගාරය විය හැකියි.

වැලිකඩ බන්ධනාගාරය තුළ වැඩබිම් 13 ක්‌ තිබෙනවා... මේ වැඩ අංශ හඳුන්වන්නෙ පාටි නමින්. රජක පාටිය, වඩු පාටිය, කම්හල් පාටිය, වේවැල් පාටිය, මුද්‍රණ පාටිය, කුස්‌සි පාටිය, ටේ්‍රලර් පාටිය, බුරුසු පාටිය, පාන් පාටිය වැනි පාටි වැලිකඩ බන්ධනාගාරය සතුයි. මේ අතරින් සුවිශේෂී අංශයක්‌ වන්නෙ රජක අංශය හෙවත් ලොන්ඩි්‍රයයි. දකුණු ආසියාවේ විශාලම ලොන්ඩි්‍රය ඇත්තේ අපේ ලංකාවේයි. ඒ වැලිකඩ බන්ධනාගාරයේයි.

මෙය ඇතුළත නම් රජක ගෙයක්‌. නමුත් පිටත වටපිටාව සො`දුරු මල්වත්තකට නොදෙවැනියි. අක්‌කර භාගයක්‌ පමණ වන භූමි ප්‍රදේශයක පිහිටා ඇති වැලිකඩ රජක නිවහන පැරණි සහ නවීන ගොඩනැඟිලි වටා විධිමත්ව කර ඇති ගෙවතු අලංකරණය සිහිගන්වනුයේ පේරාදෙණිය උද්භිද උද්‍යානයයි. බන්ධනාගාර රජක අංශය ආකර්ෂණීය හා ඵලදායීම අංශය බවට පත්කිරීමේදී ඊට අවශ්‍ය ම`ග පෙන්වීම ලබාදෙන්නේ මේ වන විට එහි භාරකරුව කටයුතු කරන රාජකාරි සැරයන් එච්. එම්.ඩී. සෙනරත් පෙරේරා... ඔහු වැලිකඩ ලොන්ඩි්‍රය ගැන අපට අපූරු කතාවක්‌ කියනවා.

''වැලිකඩ බන්ධනාගාරය ඉංග්‍රීසීන්ගේ කාලයේදී තමා ස්‌ථාපිත කළේ. බ්‍රිතාන්‍යයන් විසින් 1840 දී තමා වැලිකඩ බන්ධනාගාරය ඉදිකළේ. වර්ෂ 1844 දී මේ බන්ධනාගාරය බන්ධනාගාරයක්‌ ලෙස ක්‍රියාත්මක වුණා. ඒ අවධියේදී සිරගත කිරීම දඬුවමක්‌ ලෙස සිරකරුවන්ට ලබාදුන්නා. නමුත් 1920 - 1925 දි කර්මාන්ත ක්‍ර්‍රම හ`දුන්වා දෙමින් සිරගත වූවන්ගෙන් රජයට යම්කිසි ආදායමක්‌ ලබාගන්නා වැඩපිළිවෙළ පටන් ගත්තා. බන්ධනාගාරය සිරකරුවන්ට යම්කිසි ක්‍රියාකාරකමක්‌ ගැන පුහුණුව ලබා දෙන ආයතනයක්‌ බවට පත්වුණා. මේ අතර දැනට බන්ධනාගාරයේ තිබෙන වැඩ අංශ අතර ලොන්ඩි්‍ර්‍රය විශේෂ වෙනවා. 1925 දී දකුණු ආසියාවේ තිබෙන විශාලතම වාෂ්ප ලොන්ඩි්‍ර්‍රය ලෙස වැලිකඩ බන්ධනාගාර ලොන්ඩි්‍රය ප්‍රකට වුණා. ඒ කාලයේදී සියලු රාජ්‍ය ආයතන ඇතුළු රෝහල්වල ඇඳුම් පවිත්‍ර කිරිමේ කටයුත්ත කළේ වැලිකඩ ලොන්ඩි්‍රයෙන්.

ලොන්ඩි්‍රයේ කටයුතු සිදු වන ආකාරය දැනගන්න අපට අවශ්‍ය වුණා. අපි සෙනරත් මහත්තයාගෙන් ඒ ගැන විමසුවා. ඔහු ඉතා ප්‍රිය මනාප ලෙස කතාවට එකතු වුණා.

''බොහෝ දුරට මේ ලොන්ඩි්‍ර එක පටන්ගන්නකොටම යන්ත්‍ර සූත්‍ර වලින් තමා රෙදි සේදීම, ජීවාණුහරණය, රෙදි මිරිකීම, වියළීම වැනි සියලු කාර්යයන් සිදුකළේ, 1920 දී මෙරටට ගෙනැවිත් ලොන්ඩි්‍රයේ කටයුතු ස`දහා සවිකර ඇති යන්ත්‍ර සූත්‍ර අදත් මෙහි දැකිය හැකියි. ඉන් එකක්‌ වූ zරස්‌ටන් එන්ජින් යන්ත්‍රය පෞරාණික අතින් ඉතා වැදගත්. එදා මේ එන්ජිම ක්‍රියාත්මක වුණේ දැවි තෙල් වලින්. වර්ෂ 1934 දී බ්‍රිතාන්‍යයන් ගෙන්වන ලද රෙදි සෝදන යන්ත්‍රය අද ද හොඳින් ක්‍රියාත්මක වෙනවා. මීට අමතරව එදා භාවිතයට ගත් තවත් රෙදි සෝදන සහ රෙදි මිරිකන යන්ත්‍ර 08 ක්‌ද හො`දින් ක්‍රියාත්මක වෙනවා. විනාඩි පහක කාලයක්‌ තුළ විශාල ඇඳ ඇතිරිලි 100 ක්‌ පමණ සෝදා මිරිකීමට මෙම යන්ත්‍රවලට හොඳ හැකියාවක්‌ තියෙනවා. මෙහි තිබෙන වසර 82 ක්‌ පැරණි යන්ත්‍ර අදටත් වැඩ කරනවා.''

''මේ ලොන්ඩි්‍රයේ පවිත්‍ර කරන්න ගන්නා ඇඳුම් මොනවද ?.'' අප යළිත් ඔහුව විමසුවා.

''නේවාසික සිරකරුවන්ගේ ඇඳුම්, අධිකරණ කටයුතු සඳහා යොදා ගන්නා ඇඳුම්, නේවාසික සිරකරුවන් ආගමික කටයුතු සඳහා භාවිතයට ගන්නා ඇඳුම්, නිලධාරීන්ගේ නිල ඇඳුම් සහ පුද්ගලික ඇඳුම් භාරගන්නවා. විශේෂයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ, ජාතික තාක්‌ෂණ ආයතනයේ, කැලණිය විශ්වවිද්‍යාලයේ සහ ජාතික නිදහස්‌ උළෙලට යොදා ගන්නා ඇඳුම් පැළඳුම් රජයේ කර්මාන්ත හරහා භාර ගන්නවා. නමුත් රෝහල් වල රෙදි භාරගන්නේ නෑ. මොකද නේවාසික සිරකරුවන්ගේ ඝනත්වය නිසා රෝග, විෂබීජ පැතිරීමේ අවදානමක්‌ තිබෙන නිසා. විශේෂයෙන් අපේ ලොන්ඩි්‍රයට අනුබද්ධව අපේ බන්ධනාගාරය අසලම පිහිටා තිබෙන පිටත ලොන්ඩි්‍රයේ ඇඳුම් භාරගැනීමේ අංශය හරහා තමා ලොන්ඩි්‍රයට ඇඳුම් භාරගන්නේ, ඕනෑම කෙනෙකුට ඒ හරහා ඇඳුම් පැළඳුම්, තිරරෙදි, පොරවන රෙදි ලොන්ඩි්‍රයට ලබා දෙන්න පුළුවන්.'' ඔහු කියනවා.

''දැනට කීදෙනෙක්‌ විතර ලොන්ඩි්‍රයේ වැඩ කරනවා ද?''. යළිත් අපෙන් ප්‍රශ්නයක්‌...

''වසර දෙකකට වැඩි සිරදඬුවම් ලබන අය තමයි මෙහි වැඩ කරන්නෙ. මරණීය දඬුවමට නියම වූ හෝ ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් හිමි වූ පිරිසකුත්, වසර 120 - 140 දක්‌වා දඬුවම් ලබන නේවාසික සිරකරුවන් පිරිසකුත් මේ අතර ඉන්නවා. රැඳවියන් 100 ක්‌ පමණ මෙහි සේවය කරනවා. විශේෂයෙන් මානසික හා කායික ආබාධ සහිත, ඒ සඳහා ප්‍රතිකාර ලබන 25 කට ආසන්න නේවාසික රැඳවියන් පිරිසක්‌ මෙහි සේවය යොදවා සිටිනවා. මේ කණ්‌ඩායමේ ඉරාන ජාතික සිරකරුවෙක්‌ද සේවය කරනවා.''

''මානසික හා කායික ආබාධිත පිරිස්‌ අනික්‌ වැඩ අංශ වලත් සිටිනවාද?. කොහොමද මේ පිරිස මෙහෙයවන්නෙ ?.'' සෙනරත් මහත්තයා උත්තර දෙනවා...

''අනෙකුත් වැඩ අංශ වලට නම් මෙවැනි ආබාධිත පිරිස්‌ යොදා ගන්නේ නෑ. මොකද ඔවුන්ට කම්හල් වැනි අනෙකුත් වැඩ කිරීම අපහසුයි. නමුත් ලොන්ඩි්‍රය තුළ තිබෙන වැඩ කිරීම ඔවුන්ට පහසුයි. මෙවැනි ආබාධිත පිරිස්‌ මෙහෙයවීම අභියෝගයක්‌ වුණත් නිවැරදිව තේරුම් ගෙන ම`ගපෙන්වූවහොත් ඔවුන් සම`ග එකට වැඩ කිරීමත් පහසු දෙයක්‌.''

''බන්ධනාගාර ලොන්ඩි්‍රයේ රෙදි සේදීමට හා සහ මැදීමට කොපමණ මුදලක්‌ අය කරනවද?
''සාමාන්‍යයෙන් රෙදි වර්ගය හා ප්‍රමාණය අනුව තමා මිල තීරණය කරන්නේ, ලොකු කමිසයක්‌ මැදීමට පමණක්‌ රු10 ක්‌ ගන්නවා, සෝදා මැදිමට රුපියල් 40 ක්‌ ගන්නවා. විශාලම ඇ`ද ඇතිරිලි සහ විශාලම මේස රෙදි (06' X10'වැඩි) එකක්‌ මැදිමට රු.20 යි. සෝදා මැදිමට රුපියල් 140 යි.''

''මේ විදිහට ඝන රීලැන්කට්‌, පාපිසි, බාත් ටවල්, අත් තුවා, කාර් ෂීට්‌ කවර, ඩබල් මදුරු දැල්, සින්ගල් මදුරු දැල්, මෙට්‌ට කවර, දොර හෝ ජනෙල් රෙදි යන විවිධ රෙදි අපි භාරගන්නවා. රෙදි වර්ගය හා ප්‍රමාණය වගේම කරන කාර්යයන් එක්‌ක තමා මිල ගණන් තීරණය වෙන්නේ.'' ඔහු පවසනවා.

ලොන්ඩි්‍රයේ පසෙක ගිනිදැල් ඇවිලෙමින් තිබෙනවා. සිරකරුවන් කිහිප දෙනෙක්‌ විශාල පොල්කටු පිරුණු පෙහොර බෑග් රැගෙන අප ඉදිරියෙන් යනු පෙනෙනවා. තවත් පිරිසක්‌ නුදුරෙහි හි`දිමින් වියළුණු පොල්කටු අ`ගුරු පිළිවෙළට එක්‌ රැස්‌ කරනවා. මේ පොල්කටු අරගන්නේ නේවාසික සිරකරුවන් වෙනුවෙන් දිනපතා වැය කරන පොල් වලින්. ලොන්ඩි්‍රයේ මැදීම් කටයුතු කරන්නේ ඒ පොල් කටු වලින්. විශේෂයෙන් සකස්‌ කරන ලද වලවල්වලට පොල්කටු උදේ සිට සවස 3 දක්‌වා පිළිස්‌සීමට සලසනවා. ඉන්පසු එම වලවල් ටකරන් වලින් වසා පස්‌ දමා වහනවා. පසුව යළි එම වලවල් විවෘත කරලා පොල් කටු අ`ගුරු ගන්නෙ දින 10 කට පස්‌සෙ. විකිරණශීලීත්වය ඇති මෙම පොල්කටු අ`ගුරු විවිධ කාර්යයන් සඳහා යොදා ගන්නවා. ලොන්ඩි්‍රයේ වැඩ වලට, කම්හල් අංශයට, කාර්මික සංවර්ධන මණ්‌ඩලයට එම අ`ගුරු ලබා දෙනවා. ඊට අමතරව බන්ධනාගාර මූලස්‌ථාන කර්මාන්ත අංශය විසින් ටෙන්ඩර් කැ`දවා අලෙවි කර, මින් ආදායමක්‌ ද ලබා ගන්නවා. පොල්කටු අ`ගුරුවල කතාව එහෙමයි.

''මේ ලෝන්ඩි්‍රයෙන් කොච්චර ආදායමක්‌ උපදවනවද?''. අප විමසනවා...

''2015 වසරේදී නම් රෙදි වලින් රු.2206720 ක ආදායමක්‌ ලැබුවා. අ`ගුරු වලින් රු.390000 ක ආදායමක්‌ ලබා ගත්තා. ඒ අනුව රජක අංශය රු. 2,596,720 ක ආදායමක්‌ ඉපයුවා.''

වැලිකඩ ලොන්ඩි්‍රයට මෙවැනි ආර්ථික වටිනාකමක්‌ ලබා දෙන්නෙ මෙහි සිටින සිරකරුවන්. මේ නිසාම රජක අංශයේ සිරකරුවන් කිහිප දෙනෙකු එක්‌ක කතා කරන්න සිත් වුණා. සාමාන්‍යයෙන් බන්ධනාගාර ගතව සිටින සිරකරුවෙකුගෙන් බන්ධනාගාර ජීවිතය ගැන ඇසූ විට ලැබෙන වේදනාකාරී පිළිතුරක්‌. නමුත් රජක අංශයේ සේවය කරන සිරකරුවෙක්‌ අපට කී කතාව අපව යම් විශ්මයකට පත් කළා.

''ලොන්ඩි්‍රයේ අපි හැමෝම සතුටින් ඉන්නවා. මුලදී නම් කලකිරිලා හිටියේ. ඒත් දැන් එකට පවුලක්‌ වගේ ඉන්නවා. අපි යම් වැඩක්‌ කරන නිසා අපේ කාලයටත් යම් වටිනාකමක්‌ ලැබෙනවා.'' අප මවිතව අසාගෙන ඉන්නකොට තවත් කෙනෙක්‌ කී කතාව අපතුළ සිරකරුවන් පිළිබ`ද ඇති ආකල්පය වෙනස්‌ කරවන්න සමත් වුණා.

''අද අපි රටේ ශ්‍රමිකයින්. රටට අපි විශාල ආදායමක්‌ උපයලා දෙනවා. ඒ ගැන ආඩම්බරයි. දැන් අපි එළියට යන්නේ වැරදි හදාගත්ත රටට වැඩක්‌ කරන්න පුළුවන් මිනිසුන් විදිහට. ආයෙත් වැරදි කරන්න හිතන්නේවත් නැහැ. සමාජයට යමක්‌ කරන්න උත්සාහ කරනවා. වැලිකඩදි අපි ජීවිතේ ඉගෙන ගත්තා... ''

රෙදි හෝදන පිරිස කුලයෙන් පහත් යෑයි සලකන්නට පුරුදු වූ මිනිස්‌සුන්ට රෙදි සේදීමෙන් ශික්‌ෂණය ලැබූ මනුෂ්‍යයන් වැලිකඩ ඉඳලා කියලා දෙන්නෙ වෙනස්‌ කතාවක්‌. ඔවුන් ජීවිතයේ වැරදුණු තැන් නිවැරදි කරගනිමින් ඉන්නවා. අවස්‌ථාවක්‌ ලැබුණොත් යළිත් යහපත් මිනිසුන් සේ සමාජගත වන්න ඔවුන් සිහින දකිනවා. බන්ධනාගාරය පුනරුත්ථාපන මධ්‍යස්‌ථානයක්‌ වන්නෙ ඒ පුනරුත්ථාපනය පිළිගන්න සමාජයක්‌ තිබුණොත් විතරයි. අප විශ්වාස කරන්නේ බන්ධනාගාරයෙන් පිටත සමාජයේ මනෝභාවයන් මනුෂ්‍යත්වයේ නාමයෙන් පුනරුත්ථාපනය විය යුතු බවයි.

No comments:

Post a Comment