Tuesday, April 12, 2016

නිල ආහාරය කිරිබත් - නිල පානය අරක්කු..! මෝඩ කොටළු සැණකෙළියක් බවට පත් අලුත් අවුරුද්ද..!!

තිලක් සේනාසිංහගේ විවේචනයකි
(ලංකා ඊ නිව්ස් -2016.අප්‍රේල්.12, ප.ව‍‍.12.40) 
වත්මන් සිංහල අලුත් අවුරුද්දේ සුවිසල් ප්‍රදර්ශනාත්මක අංගය ජනතාව තුළ පවත්නා සාප්පු උන්මාදයයි. එහෙත් මෙය තවමත් හැඳින්වෙනුයේ තුන් හෙළයේ සුවිසල් සංස්කෘතික සහ සදාචාරාත්මක උත්සවය යන නමිනි. එහෙත් අතීතයේ එම තත්වය කෙසේ පැවතිය ද මෙය පාරිභෝගික සැණකෙළියක් (Consumer Festival ) ලෙස පැහැදිලිවම හඳුනාගත හැක. මෙම සමාජ විපරිනාමයට හේතුව කුමක්ද?

නිසැක ලෙසම එය පසුගිය දශක කිහිපය තුළ අප සමාජය තුළ කෙමෙන් පැලපදියම් වූ පරිභෝජන වාදයේ (Consumerism) අගතිගාමිත්වයකි. මිනිස් සමාජයක තිබිය යුතු පුරුෂාර්ථ සහ පරමාදර්ශ අතරට මිල මුදල එක්වීම සහ එම මිල මුදලේ අගය මඳින් මඳ ඉහළ යාමත් ඊට සාපේක්ෂව සෙසු තත්කාලීන සමාජ පරිණාමයට අනුව සමාජ පුරුෂාර්ථ සහ පරමාදර්ශ කෙමෙන් අවප්‍රමාණ වීමත් මෙම පරිභෝජනවාදය මනා ශික්ෂණයකට, කළමනාකරණයකට ලක් නොකිරීම තුළ සිදුවී ඇති අතිශය බරපතළ දුර්විපාක වේ.

“සල්ලි දෙවියන්ගේ මල්ලී“

දහනවවන සියවසේ අග භාගයේ පමණ සිට මීට දශක කිහිපයක් දක්වා අප ජන සමාජයේ නිතර අසන්නට ලැබුණු කතාවකි. නිසැක වශයෙන්ම පරිභෝජනවාදයේ මූලික ලක්ෂණ මෙරට දක්නට ලැබුණු එම යුගයේ සිදුවූ සමාජ ආකල්ප පෙරළිය මනාව නිරීක්ෂණය කරන්නකි.

මෙහි සල්ලි යන්න පුළුල් ලෙස විග්‍රහ කළහොත් ලෞකික ධන සම්පත් වශයෙන් දැක්විය හැක. එමෙන්ම දෙවියන් වශයෙන් මෙහි දැක්වෙනුයේ එවක සමාජයේ පැවැති ආධ්‍යාත්මික, සංස්කෘතික සහ සදාචාරාත්මක හර පද්ධතියයි. එ් අනුව ඉන් ගම්‍ය වූ අදහස වූයේ එ් වනවිට ලෞකික ධන සම්පත්හි අගය ආධ්‍යාත්මික, සංස්කෘතික සහ සදාචාරාත්මක අගයන් සමීපයටම පැමි‚ බවකි. එ් අනුව ඊට පෙර පැවැති සමාජ ආකල්පය වී ඇත්තේ ‘සල්ලි දෙවියන්ගේ පුතා‘ යන්නට සමාන වූවක් විය යුතු ය. එහෙත් දශක කිහිපයක් මුළුල්ලේ නිසි ශික්ෂණයකින් හෝ කළමනාකරණයකින් තොරව වැඩෙන්නට වූ පරිභෝජනවාදය නම් වසු පැටවා අද වන විට අධි පරිභෝජනවාදය (Over Consumerism) නම් කුළු හරකකු බවට පත්ව තිබේ.

අද රටේ සියලු දේ මුදලට ය. මුදල් ඇත්නම් මිනී මරා හෝ ගැලවිය හැකි ය යන අදහස මෙරට ජන වි×නයට බරපතළ අයුරින් පිවිසුවා ඇති මෙම අධි පරිභෝජනවාදය නම් වන බූවල්ලා විසින් ඊට අනුගත වන සමාජය තුළ පවත්නා සියලූ ආධ්‍යාත්මික, සංස්කෘතික සහ සදාචාරාත්මක අගයන් කා විනාශ කර දමනු ඇත. එහෙත් එම බිහිසුණු අවදානම කෙරෙහි මෙතෙක් විවෘත සමාජ කතිකාවක් ඇරඹී ඇති බවක් නොපෙනෙයි.

ආහාර-පාන යනු මූලිකම මිනිස් අවශ්‍යතාවයි.

එහෙත් බොහෝ විට බහුජාතික සමාගම් පවසනුයේ කෑම බීමවල රස බලන්න කියා මිස එ්වා ආහාරයට ගන්නා ලෙස නොවේ. ඊට හේතුව රස කෙරෙහි මිනිසා තුළ පවතින සහජ ගිජු බව ඔස්සේ ජනතාව අධි පරිභෝජන වාදයේ වහලුන් බවට පත් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඔවුන් මනෝ විද්‍යාත්මකව දැනුවත්ව තිබීම ය.

සෑම නත්තල් උත්සවයක් හා සමගම ‘සැන්ටා‘ නමින් හඳුන්වන ශාන්ත නිකලස් මුනිවරයා හෙවත් නත්තල් සීයාගේ ව්‍යාජ අනුරුවක් යොදමින් භාණ්ඩ හා සේවා ප්‍රවර්ධනය කරවීම අද ලොව පුරා දක්නට ලැඛෙන්නකි. මෙය එක්දහස් නවසිය විසි ගණන්වල ඇමෙරිකාවේ කොකාකෝලා බීම ප්‍රවර්ධනය සඳහා යොදා ගැනුණු ප්‍රචාරක උපක්‍රමයකි. එ් අනුව අද නත්තල් සමය වනවිට අපේ රටේ ද එ් පරපුරේ ‘සැන්ටලා‘ විශාල ගණනක් විවිධ භාණ්ඩ සහ සේවා වෙනුවෙන් තමන්ගේ කුලී හේවාකම් කරනු පෙනෙයි.

රෙද්දයි හැට්ටෙයි චූන් එකයි

එමෙන්ම දැන් දැන් සිංහල අලූත් අවුරුදු සමයන්හි දී අප රටේ බොහෝ සුපිරි වෙළෙඳ සල්වල සේවිකාවන් ගැමිලියන් සේ රෙද්ද හැට්ටයෙන් සැරසී සිටිනු අපි දැක ඇත්තෙමු. එලෙස සිංහල අලූත් අවුරුද්දට පමණක් ඔවුන්ට අමුතු ගැමිකමක්, අපේකමක් ආරෝපණය කර පෙන්වීමට එ්වායේ හිමිකරුවන්ට ඇති වුවමනාව කුමක් ද? මෙය ද එක්තරා මනෝවිද්‍යාත්මක ගුණ්ඩුවකි. අලූත් අවුරුද්ද සම්බන්ධයෙන් ජනතාව තුළ විශේෂ උද්දාමයක් මුල්කර ගත් පාරිභෝගික උද්දීපනයක් ඇති කොට ඔවුන් කුල්මත් කිරීම, වඩාත් බාල බොළඳ ලෙස කිවහොත් ‘චූන්‘ කිරීම මෙහි සැබෑ අරමුණ ය. එහෙත්, එය එම සේවිකාවන්ගේ ගතට කෙසේ වෙතත් සිතට ගැළපෙන ඇඳුමක් නොවන බව මනාව එ්ත්තු යන්නේ තම සේවා මුරය හමාර කළ සැ‚න් නිවෙස් බලා යාමට පෙර ඔවුන් හනික එම ඇඳුමින් අත් මිදී වෙනත් සාමාන්‍ය ඇඳුමකට මාරුවන බැවිනි. ඊට හේතුව එවන් දේශීය සාම්ප්‍රදායික ගැමි ඇඳුමකින් සැරසී අද කාලයේ යුවතියකට ප්‍රසිද්ධියේ මහමග හෝ පොදු වාහනයක ගමන් කිරීමට ඇති නොහැකියාව ය. යම් හෙයකින් ඔවුන් එසේ කළහොත් වත්මන් සමාජයේ සාමාන්‍ය ජනතාවට එය විකට ඇඳුම් තරගයක් සඳහා ඉදිරිපත්වීමක් සේ පෙනෙනු ඇත.

සිංහල අලූත් අවුරුද්ද වෙනුවෙන් අත්‍යවශ්‍ය මූලික ආහාර ද්‍රව්‍ය සහ ගෙදර දොර කළමණාවලට අමතරව රසකැවිලි සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, අමුත්තන්ට සංග්‍රහ කිරීමට අවශ්‍ය දේවල්, පවුලේ සාමාජිකයන් සඳහා ඇඳුම් පැළඳුම් ආදී වශයෙන් යමකුගේ සාමාන්‍ය පාරිභෝගික පාරාසය යම් තරමකට විස්තාරණය වීමේ අරුමයක් නැත. එහෙත් ෙ‘ලාබ කළ සේල්‘ යන හැඳින්වුම යටතේ මෙරට ජනතාව සාමාන්‍ය පරිභෝජන රටාවෙන් ඉවතට ඇද දමා අධි පරිභෝජනය සහ නාස්තිකාර පරිභෝජනය (Consumption Consumerism) දක්වා අනවශ්‍ය දුරක් ඇදගෙන ගොස් අවසානයේ ඔවුන් පාරිභෝගිකත්වයේ වල්මත් කරවීමට වෙර දරන වෙළෙඳ ගුණ්ඩු වර්තමානයේ අතිශයින් සුලබ ය. වාර්ෂිකව එ්වා වඩාත්ම බලගැන්වෙනුයේ සිංහල අලුත් අවුරුද්ද මුල්කර ගනිමිනි.

සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් ශීතකරණ, නවීනතම ඉලෙක්ට්‍රෝනික ගෘහ උපකරණ, රූපවාහිනී, පරිගණක, ජංගම දුරකථන ආදිය පවා විශේෂ අඩු මිලකට සේම ගෙවීමේ පහසු ක්‍රමයට ලබා දෙන බව පැවසෙන ව්‍යාපාරික උප්පරවැට්ටි අද සමාජයේ කොතෙකුත් දැකිය හැක. එ් අනුව සිංහල අලූත් අවුරුද්දක් එළැඹීමට පෙර තමන් ගත් පැරණි ණය සියල්ල ගෙවා නිම කළ යුතු ය යන පොදු සමාජ සම්මතය පවා වත්මන් අධි පරිභෝජනවාදී සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර මගින් සුනු විසුණු කොට තිබේ.

“අවුරුදු කටේ උඹ ඔය ණය වෙන්න ද හදන්නේ?“

අතීතයේ අපගේ වැඩිහිටියන් පවසනු මට ද ඇසී තිබේ. සිංහල අලුත් අවුරුද්දේ පැවැති එවන් සාම්ප්‍රදායික තත්ත්වයන් සුනු විසුණු කර දමන මෙම අධි පරිභෝජනවාදය තුළ නූතන ව්‍යාපාරිකයන් අපට පවසනුයේ කුමක් ද? සිංහල අලූත් අවුරුද්ද නිමිත්තෙන් ජංගම දුරකථනයේ සිට ණයට ගන්නා ලෙස නොවේ ද?

එසේම සිංහල අලුත් අවුරුද්ද මුල් කොට ගත් මෙම පාරිභෝගික උද්දීපනය පිණිස වෙළෙඳ ප්‍රජාව විසින් අටවනු ලබන මනෝ විද්‍යාත්මක උගුල් ඉන් අවසන් නොවේ. එ්වා පිළිබඳව තරමක හෝ අවධානයක් සහ අවබෝධයක් අප සතුව තිබිය යුතු ය.

ඉහත සඳහන් කළ සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් සුපිරි වෙළෙඳ සල්වල තනවා තබන සාම්ප්‍රදායික ගැමි ලියන්ගේ ව්‍යාජ සජීවී මිනිස් අනුරූවලට අමතරව ‘අපේ ගම - අපේ කම‘ පිළිබඳව පැවසෙන දෑ ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීම ද නූතනයේ ශීඝ්‍රයෙන් ප්‍රවර්ධනයට ලක්වන අලූත් අවුරුදු විලාසිතාවකි.
වල් ඌරු වෙස්ගත් විද්වත්තු

මෙහි දී මාංශ නිෂ්පාදකයන් ඇතුළු ව්‍යාපාර ප්‍රජාවේ අතකොලූ බවට පත්වන විද්‍යුත් මාධ්‍යයන් මගින් ඉදිරිපත් කෙරෙන වැඩ සටහන් සඳහා ව්‍යාපාරික හබන් කුකුළන්ට රජ මඟුල් කැඳවන වල් ඌරු වෙස්ගත් දොඩමළු ප්‍රාංසාංගික විද්වත්හු සෑහෙන දෙනෙක් ද කැකුණ තැලීම පිණිස පැමිණෙති. විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගේ සිට කට්ටඩින්, නැකත් ඇදුරන් සේම නූතන සමාජය හමුවේ විද්වතුන්ගේ චරිත රඟපාන නළුවන්, නැට්ටුවන්ගේ සිට සුපිරි හෝටල්වල කෝකියන් දක්වා වූ විවිධ තරාතිරම්වලට අයත් පිරිස් මෙලෙස මාධ්‍ය හමුවට පැමිණ අපට සිංහල අලූත් අවුරුදු කන හැටි කියා දෙති. ඒ ඔස්සේ සිංහල අලූත් අවුරුදු දේහය පුරා පැතිර යමින් පවත්නා අධි පරිභෝජනවාදී ගින්නට පිදුරු මිටි ගණන් හෙලති. එහෙත් ජීවිත පරිඥානය මඳ මෙරට සාමාන්‍ය ජනතාව එසේ අනවශ්‍ය පාරිභෝගික කුළුගැන්වීමක් පුබුදු කරමින් තමන් විසින් රටට, ජාතියට සිදුකරනු ලබන හානිය පිළිබඳව ඔව්හු නොසිතති. එ් සිංහල අලුත් අවුරුද්ද නම් වන මෙම ප්‍රාථමික ග්‍රාමීය අස්වනු මංගල්‍යය මේ වනවිට ‘මෝඩ කොටලූ සැණකෙළියක්‘ වී ඇති බව තේරුම් ගන්නට තරම් මොළයක් ඔවුන්ට නොමැති නිසාද විය හැක.
අවුරුද්දේ නිල ආහාරය කිරිබත් - නිල පානය අරක්කු

නූතන ව්‍යවහාරයට අනුව කිවහොත් සිංහල අලූත් අවුරුද්දේ ජාතික “නිල ආහාරය“ කිරිබත ය. එහෙත් එහි නිල පාලනයක් පිළිබඳව කිසි තැනක සඳහන්ව නැත. නමුදු ඇත්ත ඇති සැටියෙන් කතා කළහොත් සිංහල අලුත් අවුරුද්දේ ජාතික මට්ටමේ ව්‍යවහාරික නිල පානය තේ, කෝපි, බෙලි මල්, ඉරමුසු හෝ රණවරා නොවේ. එය වූ කලී ඒකාන්ත වශයෙන් අරක්කුම ය.

සිංහල අලුත් අවුරුදු සමය වනවිට අප රටේ විවිධාකාර පුවත්පත් දැන්වීම්වලින් පිරී යයි. එ් අතරින් ජාතික පුවත්පත් වශයෙන් තමන් විසින්ම හඳුන්වා ගනු ලබන දිනපතා සහ ඉරිදා බොහෝ පුවත්පත්වල පසුගිය කාලයේ සිංහල අලූත් අවුරුද්ද මුල් කොට අපූරු දැන්වීමක් පළ කෙරිණ. එ් එම පුවත්පතක සාමාන්‍ය උස වන සෙන්ටි මීටර් පනස්දෙකක ප්‍රමාණයට ළංවන අරක්කු බෝතලයක සේයාරුවකි. එහෙත් එ් දැන්වීම තුළ ද එම අරක්කු බෝතලය තනි වී නැත. එ් ඊට ඉහළින් එරබදු අත්තක් සහ එ් මත වසා හිඳින කොහෙකුගේ චිත්‍රයක් නිසා ය. එමෙන්ම එම යෝධ අරක්කු බෝතලය ඇත්තේ ද නිකම් තැනක නොවේ. රුපියලේ දෙකේ රිදී පැහැති කාසි කිහිපයක් සහිත බුලත් කොළයක් මත ය. මෙම දැන්වීම දකින ඕනෑම අයකුගේ සිතට නැගෙන එක් අදහසක් තිබේ. එ් කොහා සහිත එරබදු අත්ත නියෝජනය කරන සිංහල අලුත් අවුරුද්දේ දී බුලත් කොළවලින් සංකේතනය කෙරෙන සාමය සහ රිදී කාසිවලින් සංකේතනය කෙරෙන සෞභාග්‍යය උදෙසා අරක්කු පානය කළ යුතු බව ය. නමුදු පවත්නා ඛේදනීය සමාජ යථාර්ථයන්ගෙන් මිදී පනිමින් සිංහල අලූත් අවුරුද්ද මුල් කොට රටේ අහිංසක දුප්පත් ජනතාවට මාධ්‍ය මගින් දවල් හීන පෙන්වන මෙම තුට්ටු දෙකේ ප්‍රාසාංගික විද්වතුන් සිංහල අලූත් අවුරුද්ද මුල්කොට සිදුවන මෙම බරපතළ සදාචාර පරිහානිය පිළිබඳව 2006 වසරේ අංක 27 දරන දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත ක්‍රියාත්මක කිරීමෙන් පසුව දුම්වැටි සහ මත්පැන් ප්‍රචාරණයට තහංචි පැනවෙන තුරුම ඉහත සඳහන් ව්‍යසනකාරී පණිවුඩය සහිත වෙළෙඳ දැන්වීම් සමාජගත කිරීම මුල්කොට කටේ කෙළ පොදක් හලා නැත. එ් පිළිබඳව මගේ පෞද්ගලික අදහස වන්නේ ඔවුන්ගෙන් ඇතැමෙකු එ් ඔස්සේ බහුජාතික සමාගම්වලට ‘කුලී හේවාකම්‘ කරන බවකි

No comments:

Post a Comment