Sunday, April 3, 2016

පුදුමයි ඒත් ඇත්තයි..! කොළඹ නිවාස කුලිය නිව්යෝර්ක් ලන්ඩන් අභිබවා ගිහින්: ටෙලිකොම් සභාපතිගේ මෙගා නිවාස කුලියෙන් හෙලිවේ..!!

(ලංකා ඊ නිව්ස් -2016.අප්‍රේල්.03, ප.ව‍.2.45) 

කොළඹ නිවාස කුලිය ලන්ඩන් නිව්යෝර්ක්, ලොස් ඇන්ජලීස්, පැරිස් ආදී නගර වල නිවාස කුලියට වඩා ඉහල ගොස් තිබේ. මේ බව තහවුරු වන්නේ ටෙලිකොම් මොබිටෙල් සභාපති කුමාරසිංහ සිරිසේන තම නිවාස කුලිය ලෙස පසුගියදා අනුමත කර ගත් දීමනාවක් හේතුවෙනි.

ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන මහතා තම නිවාස කුලිය ලෙස මසකට ඩොලර් 5000 ක දීමනාවක් පසුගියදා පැවැති ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයේදී අනුමත කරවාගෙන තිබේ. ඩොලර් 5000 ක් යනු රුපියල් 7,30,000 කට (හත් ලක්ෂ තිස් දහසකට) අධිකය. කුමාරසිංහ සිරිසේන විසින් මෙකී මෙගා නිවාස කුලී දීමනාව ලබා ගන්නේ ඔහු විසින් දැනට ටෙලිකොම් සමාගමෙන් පමණක් ලබා ගන්නා මිලියන ගණනක මාසික වැටුප් සහ දීමනා වලට අමතරව ය.

ලන්ඩනයේ පදිංචියට අගනා ප්‍රෙද්ශයක නිදන කාමර 3 ක නිවසක මාසික කුලිය පවුම් 2000 ක් හෙවත් ඩොලර් 2850 ක් පමණ වන අතර නිව්යෝර්ක් නගරයේද එවැනිම ගණනක් වේ. ලොස් ඇන්ජලීස් වැනි හොලිවුඩ් තරු වෙසෙන පලාතක වුව නිදන කාමර 3 ක නිවසක මාසික කුලිය ඩොලර් 3000 ඉක්මවන්නේ නැත. ඒ අනුව කුමාරසිංහ සිරිසේන කොළඹින් ජීවත්වීමට නිවාස කුලියක් ලෙස ඩොලර් 5000 ක් ලබා ගැනීම පුදුමාකාරය.

මෙකී පුදුමාකාර නිවාස කුලිය සභාපතිට ගෙවන්නැයි අධ්‍යක්ෂ මණ්ඩලයට යොමු කර ඇත්තේ කුමාරසිංහ විසින් අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කර ගත් ඔහුගේ කූඨ ව්‍යාපාරික සගයා වන මරාවාදී වෑගපිටිය විසින් වන අතර මැලේසියානු අධ්‍යක්ෂකවරුන් මීට එරෙහි වෙද්දී ඔවුන් සමග කට ගසා ගෙන එය අනුමත කරවා ගෙන ඇත්තේ ද ඔහු විසිනි.

මීට පෙර සිටි ටෙලිකොම් සභාපති ලෙස කටයුතු කළ නිමල් වෙල්ගම මහතා නිවාස කුලියක් තබා තම වැටුප හෝ ටෙලිකොම් සමාගමෙන් ලබා නොගත් අයෙක් වීම මෙහිදී කැපී පෙනෙන්නකි. කුමාරසිංහ සභාපතිගේ මෙගා වැටුප් මෙගා නිවාස කුලී ගෙවිය යුත්තේ මේ රටේ දුරකථන බිල්පත් ගෙවන අසරණ ජනතාව ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවීමට පෙර ජනතාවට පොරොන්දු වූ පරිදිම ජනාධිපති මන්දිරයේ හෝ අරලියගහ මන්දිරයේ පදිංචියට නොගොස් තමා පෙර සිටි ඇමැති නිවසේම (ජනාධිපති අවශ්‍යතා අනුව මඳක් සංස්කරණය කර) සාමාන්‍ය පුද්ගලයෙකු සේ වාසය කරද්දී සමාගම් සභාපති කමක් දරණ කුමාරසිංහ මල්ලී මේ ආකාරයට මෙගා නිවාස කුලී මහජන මුදලින් ගසා කෑම නින්දා සහගත ය. ජනතාව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කළා මිස කුමාරසිංහ සිරිසේනව ටෙලිකොම් සභාපති කළේ නැත. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති සටනේ දී කුමාරසිංහ සිරිසේන කෙනෙක් පැත්ත පළාතක සිටියේ ද නැත. ඔහු සිටියේ රාජපක්ෂලා සමගය. ඔහු පමණක් නොව ඔහුගේ ගජයා වෑගපිටිය සිටියේද රාජපක්ෂලා සමගය. එබැවින් මේවා රාජපක්ෂලාගේ වුවමනාවට සිදුවනවාද යන්නද පැනයකි. මන්ද යත් අප කළ සොයා බැලීමකදී ජනාධිපතිවරයා මලයාගේ මෙම මෙගා ගෙවල් කුලී වැඩි කර ගැනීම නොදන්නා බව හෙලිවීම නිසා ය.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ ජනාධිපති විනාශය කරා ගෙන ගියේ ඔහු මල්ලිලා බවද සිරිසේන ජනාධිපතිවරයාට මතක් කර දිය යුතුය.

එමෙන්ම ටෙලිකොම් ඇමැති හරීන් ප්‍රනාන්දුට කිව යුත්තේ ගූගල් බැලුන් දෙස උඩ බලා නොසිට ටෙලිකොම් සභාපති ගහන ගැහිලි දෙස බලන ලෙසය. තමා යටතේ සිටින සභාපතිවරයෙක් කරන කියන දෑ පාලනය කළ නොහැකි නම් ඔය ඇමති රස්සාවෙන් තඹයක වැඩක් නැත.

No comments:

Post a Comment