Sunday, June 12, 2016

වාහන ගන්න ඇමතිලා සුදුසුයිලු - එක්කෙනෙක්ගේ සුදුසුකම් පරීක්ෂා කරමු

අද නුසුදුසු පුද්ගලයනුත් වාහන ගන්නවා” යැයි ජෝන් අමරතුංග පැවසීය. එහෙත් ‘සුදුසු’ පුද්ගලයන් කවුද ‘නුසුදුසු’ පුද්ගලයන් කවුද යන්න පැහැදිලි කිරීමට ජෝන් අමරතුංගට නොහැකි විය.

ඒ වෙනුවට ඔහු කළේ බග් බග් ගෑම පමණි. ක‍්‍රමවත් සුවදායක පොදු ප‍්‍රවාහන සේවයක් නැති රටක ජනයා පෞද්ගලිකව වාහන පාවිච්චි කරන්නේ මන්ද යන්න සාකච්ඡා කෙරෙන ලිපියක් පසුගිය සත්හඬ කලාපයක පළ වූ නිසා ඒ ගැන වැඩි යමක් අප පුනරුච්චාරණය කරන්නේ නැත. කෙසේ වෙතත් මේ සතිය වන විට අලූ‍ත් වාහන ගැනීම සඳහා මැති ඇමැතිවරුන් පෝලිම් ගැසී සිටින බව වාර්තා වෙයි.


ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි සහ නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ සඳහා රුපියල් හත් කෝටියක් ද අනූෂ පැල්පිටට නැවත කැඳවූ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධනට වාහන දෙකක් ද මීගමුවේ ෆ්‍රෙඞී ගමගේ මාධ්‍යවේදියාට පහරදීම හා ඒ පන්නයේ වැඩවලට දනන් තුඩ තුඩ රැව්දෙන නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සාට වාහනයක් සඳහා රුපියල් නවකෝටි අනූලක්ෂයක් ද විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු සහ නියෝජ්‍ය අමාත්‍ය තාරානාත් බස්නායකට රුපියල් නවකෝටි දසලක්ෂයක් ද නිපුණතා සංවර්ධන අමාත්‍ය මහින්ද සමරසිංහ වාහන දෙකක් සඳහා රුපියල් කෝටි පහක් ද නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නට රුපියල් පන්කෝටි හැටලක්ෂයක් ද රාජපක්ෂ රෙජීමයේ ඝාතන සැඟවීම සඳහා ප‍්‍රගීත් එක්නැළිගොඩ ප‍්‍රංශයේ දී දැක්කා යැයි කී සංචාරක ප‍්‍රවර්ධන අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දුගේ වාහනයට රුපියල් පන්කෝටි හැටලක්ෂයක් ද ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට දමා ඇත.

එපමණක් නොව, ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා සහ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්දගේ වාහන සඳහා රුපියල් හයකෝටි තිස්ලක්ෂයක් ද ඊයේ පෙරේදා වනතෙක් මහින්ද සුළෙඟ් නැලවුණු විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාරට රුපියල් දෙකෝටි අසූලක්ෂයක් ද ගංවතුරෙන් අවතැන් වූවන්ට කෙසෙල් ගෙඩි බෙදූ රාජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහට වාහන දෙකක් සඳහා රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක් ද තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා සහ නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේනගේ තිරසාර සංවර්ධනයට වාහන අත්‍යවශ්‍ය නිසා රුපියල් හත්කෝටියක් ද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටියට.. ඔව් ඔව්.. මහින්දගේ ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් තමා.. එයාට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක් ද කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරන්ගේ වාහනයට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක් ද වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායකට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක් ද ඇවන්ට්ගාඞ් අධිපතිගේ හිතමිත‍්‍ර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ හා නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත‍්‍රපාලගේ වාහන සඳහා රුපියල් හත්කෝටියක් ද ඉල්ලා තිබේ.

බන්ධනාගාර අමාත්‍ය ඞී.එම්.ස්වාමිනාදන් හා ඒ කාලයේ නාමල් නිසා ගුවන් තොටුපළේ පත්වීමක්වත් දෙන්න බැරි වුණා යැයි තවමත් නාහෙන් අඬන රාජ්‍ය අමාත්‍ය ප‍්‍රියංකර ජයරත්න ට රුපියල් හත්කෝටියක් ද නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්ට රුපියල් තුන්කෝටි පනස්ලක්ෂයක් ද නිවාස ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායකට රුපියල් දෙකෝටි අසූලක්ෂයක් ද ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකාට රුපියල් හත්කෝටියක් ද කර්මාන්ත අමාත්‍ය චම්පිකා පේ‍්‍රමදාසට රුපියල් තුන්කෝටි පනස්ලක්ෂයක් ද විශේෂ කාර්යභාර (මොනවද දන්නෑ) අමාත්‍ය සරත් අමුණුගමට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක් ද රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේට රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක් ද ඊයේ පෙරේදා මහින්ද එක්ක රහස් කතා කළ රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායකට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක් ද අප්පච්චි මළා කියා යහපාලනයෙන් ලකුණු දමාගත් වාරිමාර්ග අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක් ද ලබා ගැනීම සඳහා රුපියල් කෝටි 118ක් හා ලක්ෂ 25ක මුදලක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව මේ ලිපිය ලියන මොහොත වන විට දිනපතා පුවත්පතක් වාර්තා කර ඇත.

ඒවා එහෙම වෙද්දී එදා ජෝන් අමරතුංග පෙන් වූයේ වාහන පාවිච්චිය පිළිබඳ කෙහෙල්මල් සමාජ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නොව තමන් තුළ උද්දච්ච වැඩවසම් නරුම මනෝභාවයයි. කෝටි දෙතුන් සීයේ වාහන පාවිච්චි කිරීමට උන්ට අයිතියක් ඇතත් ‘ප‍්‍රවාහනයට අදාළ සරල විසඳුමක්වත්’ හොයාගන්නට අපට අයිතියක් නැත කියා නොවේද මේ කියන්නේ? උන් හැමදේටම ‘සුදුසු’ පුද්ගලයන්ය. උන්ට අනුව අප ‘නුසුදුසු’ පුද්ගලයන්ය. මේක නම්, හරිම ප‍්‍රීතිදායක තත්ත්වයක් වන අතර ඒ ප‍්‍රීතිය මධ්‍යයේම මෙවන් දූපතක දේශපාලනය කිරීමට ජෝන් අමරතුංගට තිබෙන ‘සුදුසුකම්’ මොනවාදැයි සොයා බලන්නට අපට සිතිණි.

1940 මැයි 21 දා උපන් ජෝන් ඇන්තනී එමානුවෙල් අමරතුංග එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා වන අතර ඒ මන්ත‍්‍රී ධුරය ඡුන්දයෙන් ලබාගත් එකක් නොව ජාතික ලැයිස්තුවෙන් පිනට ලැබුණ එකකි. සංචාරක සංවර්ධන හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය සහ ඉඩම් අමාත්‍ය ධුරය ඔහු සතු බව පාර්ලිමේන්තු වෙබ් අඩවිය කියයි. මූලාශ‍්‍රය විශේෂයෙන් සඳහන් කරන්නේ අම්මපා මේ කාලයේ ඇමැතිවරු මොක්කුද, උන් දරන ඇමැතිකම් මක්කද යන්න සහ ඇමැති මණ්ඩලේ ඉන්නේ මොකාද නැත්තේ මොකාද යන්න මෙලෝ සම්මජාතියකට මතක හිටින්නේ නැති හින්දාය. මන්ද, ඇමැති ධුර දරන්නේ ඒ තරම්ම ‘සුදුසු’ උදවිය ය.

ජෝන් අමරතුංග පාර්ලිමේන්තුවට මුලින්ම තේරී පත් වන්නේ 89 වර්ෂයේය. 88 සහ 89 යන ඉලක්කම් දෙක ඔහුගේ ජීවිතයට සම්බන්ධ වන්නේ ඒ කාරණා දෙක නිසා පමණක් නොවන බව 88 - 89 භීෂණ සමයේ දී යාන්තම් දිවි ගලවා ගත් ගම්පහ දිස්ත‍්‍රික්කයේ ඇතැම්හු පවසති. මේ මජර නරුම කාලකණ්ණි දේශපාලන ක‍්‍රමය සඳහා ප‍්‍රවිෂ්ට වන්නට තමන්ගේ ඇති ‘සුදුසුකම්’ ඉතා හොඳින් සපුරන්නට ජෝන් අමරතුංගට හැකියාව සහ අවස්ථාව එකල තිබුණු බව 89 දී එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු ආවාය කියන කාරණාව ප‍්‍රබල සාක්ෂියකි. නිල හා නිල නොවන ඝාතක කල්ලිවලට තරුණ තරුණයන්ගේ නම් ලැයිස්තු දීම කොයිතරම් වැදගත් ‘සුදුසුකමක්’ද කියා පාඨක ඔබ තේරුම්ගත යුතුය.

එසේ පාර්ලිමේන්තු පැමිණි ජෝන් අමරතුංග ජනාධිපති පේ‍්‍රමදාස යුගයේ අවසානය තෙක්මත් එතැන් සිට අද දක්වාත් මේ දෙකයි පනහේ දේශපාලනයට අවශ්‍ය සුදුසුකම් නොමඳව රැස් කළේය. තම දේශපාලන කඳවුර විසින් සිදු කරන ලද හොර මැරකම්, ඝාතන ගැන ජෝන් අමරතුංග කටක් ඇර වචනයක් කියා නැත. ඉතින් එහෙව් මිනිහෙක් මේ දේශපාලනයට ‘නුසුදුසු මිනිහෙක්’ වෙන්නේ කොහොමද? එපමණක් නොව රාජපක්ෂ රෙජීමය පවතින සමයේ ජෝන් අමරතුංග ඉතා පැහැදිලිව ඩබල් ගේම් දේශපාලනයක යෙදුණ බව දන්නෝ දනිති. රාජපක්ෂ සමඟ විදේශ සංචාර ගණනාවකට තම පක්ෂයේ මතයවත් නොතකා සහභාගී වූ ඔහු කොහොමද ‘නුසුදුසු පුද්ගලයෙක්’ වන්නේ?

බලයෙන් මත් වූ උද්දච්ච දේශපාළුවන් උම්මත්තකයන් සේ උම්බෑ කීම මේ දූපතේ මිනිසුන්ට අලූ‍ත්ම අත්දැකීමක් නොවන නමුත් ජෝන් අමරතුංගලාගේ මේ නරුම හැසිරීම්වලට ජනයා පිළිතුරු දෙන්නට උවමනාය. උන් අපව හැමදා සියල්ලට නුසුදුස්සන් කර ඇත. උන්ට අනුව අප සුදුසු වන්නේ උන්ව කර තබාගෙන යාම සඳහා පමණි. හැබැයි, රුපියල් කෝටි ගණන් සුඛෝපභෝගී වාහනවලට වියදම් කරමින් පිළිකා රෝහලට යන්ත‍්‍ර ගන්නට බදු බරෙන් පීඩිත සාමාන්‍ය ජනයාගෙන් සල්ලි එකතු කරන මේ විකාර දේශපාලනය පිටුදකින්නට අප සුදුසුකම් ලබන්නේ කවදාද යන ප‍්‍රශ්නය අප අබිමුව ඇත.

එහෙමනම් අපි මේ කතාබහ අවසන් කරමු. අංක 88, මීගමු පාර, කඳාන ලිපිනයේ පදිංචි ජෝන් අමරතුංග කිතු බැතිමතෙක් නිසා බයිබලයේ එන වැකියක් උපුටා දක්වා මේ සටහන අවසන් කරන්නට අප කැමැත්තේ වැරදීමකින් හෝ මෙය ඔහු නෙත ගැටුණොත් වටිනා බැවිනි. රෝමානු කතෝලික ජෝන් අමරතුංගට පමණක් නොව, සිංහල බෞද්ධ, මුසල්මානු ඉස්ලාම්, දෙමළ හින්දු කොයි දේශපාලකයාටත් මේ වැකිය වලංගුය.

”කථාවෙනුත් හැසිරීමෙනුත් පේ‍්‍රමයෙනුත් ඇදහිල්ලෙනුත් පිරිසිදුකමෙනුත් නුඹම ආදර්ශයක් වන්න”(තිමෝති 4:12)

- විමල් කැටිපෙආරච්චි

No comments:

Post a Comment